ගිනි මැදින් ලියැවුණු සහෝදරත්වයේ කවි !

  


                ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලය පසුබිම්                   කරගනිමින් ලියැවුණු කවි ( 1980 / 1988 )






                    අපි දන්න කාලෙ ඉදලා අදවෙනකල් ම ජනවාර්ගික ගැටලු කිසි අඩුවක් නැතුව තියන රටක් මේක. මූලික ජන වර්ග හතරක් මේකෙ ඇතුලෙ ජීවත් වුණත්, එකිනෙකා පරයා යෑමට කුලල් කා ගැනීම ම ඛේදයක්.  . සාමාන්‍ය පුරවැසියො වෙන අපිට අනිත් සහෝදරයින් ගැන කිසිම අවුලක් නැති වුනත් දේශපාලඥයොන්ට නම් දෙපැත්ත කොටවන්න සෑහෙන්න උවමනාවක් තියනවා කියලා කියන්න ඕන නෑනෙ. රටේ ඇති වෙච්ච හැම කෝලාහලයකටම හර්තාලයකටම අරගලයකටම බෝම්බ පිපිරීමකටම දේශපාලනය ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා.


සියවසක් ඇතුළත අපිව කණපිට ගහපු හර්තාල,අරගල,කෝලහල එකින් එක මතක් කරොත් ,

1915 -  මරක්කල කෝලාහලය

1958 - ශ්‍රී අරගලය

1983 - කලු ජූලිය

              අවුරුදු තිහක යුද්ධෙ ඉදලා සහරාන් බෝම්බ දාන දවස වෙනකල් ජනවාර්ගික ප්‍රශ්නවලින් ඉහටත් උඩින් බැට කාල තාමත් පාඩම් ඉගෙනගන්නෙ නැති රටක ජිවත් වෙන මනුස්සයෙක් විදිහට මට හොයන්න හිතුණු දෙයක් ගැනයි මේ කියන්නෙ.


                    සිංහල දමිළ ප්‍රජාව තමා ලංකාවෙ සිද්ධ වෙච්ච බහුතරයක් වාර්ගික ප්‍රශ්නවලට මැදි වෙච්ච මිනිස්සු විදිහට මම නම් දකින්නේ. සමහරුන්ට මේ ප්‍රශ්න වවාගෙන කන්න ඕන වුණත් තවත් සමහරුන්ට නිදහසේ සහෝදරත්වයෙන් නැවත එකට ඉන්න ඕන කියන උවමනාව තදින් ම තිබුණා. එහෙම හිතපු අයගෙන් වැඩි දෙනෙක් කවියො. සිංහල දෙමළ භේදයකින් තොරව ඔවුන් සාමය උදෙසා කවි ලිව්වා. සිංහල කවි දමිළ භාෂාවට පරිවර්තනය වුණා. දමිළ කවි සිංහල භාෂාවට පරිවර්තනය වුණා. ඒ හැම කවියක් ඇතුළෙම නිදහසේ පරවියන් ඉගිලුනා.


ලෝකයක් නසන්නට 
රුදුරු අවි අත දරා සැනසෙමුද?
නැසුණු ලොව අබිමුවෙහි
විජය කොඩි නගන්නේ කවුරුන්ද

                බණ්ඩාර ඇහැළියගොඩ


           ලංකාවේ වාර්ගික අරගලකාරී කාලයේ පළවූ ජාතික පුවත්පත් සෑම එකකම පාහේ පලවූ කවි වලින් වැඩි ඉඩක් සාමය සඳහා වූ කවිවලට වෙන් වුණා. මාවත,ඉසුර වැනි සඟරා වාර්ගික අරගලය තේමා කරගත් පද්‍ය සඳහා සිය කලාපයම වෙන් කළා. සිද්ද වුණ වැදගත්ම දේ තමයි සිංහල දෙමළ ප්‍රකට කවි රචකයො වගේම පරිවර්තකයොත් බිහිවීම.


30 වසරක යුද්ධය අලලා දෙමළ කවියෙකු ලියූ පදවැලක්.....


යුද්ධය ද ? සාමය ද?


දිවයිනකි මෙය එකම

සයුරු පවුරින් රැකුණු

සිටින මුත් දන නොයෙක

සිහල බස මුව රැදුණු

දමිළ බස හෝ අනෙක

"මිනිසුන්" ය සැවොම.


හෙළය කීවද වරෙක

දෙමළ කීවද කලෙක

මෙවලමක් පමණි එය

හුවමාරුවක හැඟුම්


 ආගමය නමින් යුත්

තවත් එක් මෙවලමකි

බොදු හින්දු යොන් නොයෙක

මේ සැවොම මිනිසුන් ය.


බසෙහි හඬ වෙනස් වුව 

ඔවුන් සතු අරගලය

සදාතන පැතුම් මඟ 

දිවි මඟක් නොවෙද සොඳ


මිනිසුන්ට ප්‍රේම කොට

මිනිස්කම රැකෙන ලෙස

මිනිසුනට පවතින්න

මිනිසුනට ඉඩ දෙන්න !

 

                       ජේ. බෙනඩික් බාලන්ගේ "පොරා සමාදානම්" කවි පොතේ නිර්මානයක්.




             ජනවාර්ගික ගැටුම්වලට මූලික හේතුව වන්නේ භාෂාව. 6 වසරෙ ඉදලා අපේ විෂය නිර්දේශයෙ දෙමළ භාෂාවට ඉඩක් තිබුණත් , අදටත් දමිළ දරුවන්ට සිංහල භාෂාව ඉගෙනගන්න ඉඩක් දීලා නෑ. මේ සන්නිවේදන අවුල අදත් හෙටත් මතුවටත් තියෙයි. එයාලා ලියන කියන දේ අපිට තේරෙන්නෙ නෑ. අපි ලියන කියන දේ එයාලට තේරෙන්නෙ නෑ. දේශාපාලඥයෝ ඒවා තේරුම්ගන්න ඉඩ දෙන්නෙත් නෑ. මතුවටත් ඒවා නොතේරීම තියෙයි. 


මුස්ලිමුන් අපිට කවි ලියලා නැද්ද ??? සාමය බලාපොරොත්තුවෙන් හැමෝම කවි ලිව්වා.


 ලාංකිකයෙකුගේ කවිය


අප අතර යුද්ධයකැයි

කියන්නේ කවුරුන්ද


පතාගෙන වාසියට

මරා දමා අහින්සකයින්

ගොඩගැසූ ඒ මළ කඳන් මත හිඳ

පදවි ලෝභයෙන් , වහසි බස් දොඩමින්

කෙසේ ද අපි යුද වැදී ඇතැයි

පවසන්නේ නුඹලා !


බලන් වැසී ඇති ඇස් ඇර

එකම රා තැබෑරුමකින් සප්පායම් වී 

කන්දයියාත්,සිරිසේනත්

සල්ලාපයේයෙදෙමින් යන අපූරුව


බලන් වතුකරය දෙස මැනවින් 

රාමක්කා සහ සෝමවතී

එකම බඳුනකින් කහට උගුරක් තොළගා

එක මං (අඩිපාරේ) ළංවී යන හැටි


කවුරුන්ද කීවේ අපි අතර 

සංග්‍රාමයක් පවතී යැයි

බැඳගත් අත් වලින් යුතුව

අප සෙනෙහසින් පියනගන්නේ

එකම මඟකය ඉදිරියට

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් නොවේ ද?

 

               මේමන් කවි - අබ්දුල් රසාක් (1988)

 

                  ඔය අතරෙ සිංහල වාර්ගික ගැටුම් සමතයකට පත් කිරීමට කවි වගේම සාමය වෙනුවෙන් ගීත ලියවෙනවා. රජරට සේවය , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ ගීතවල බිහිවීමට පුරෝගාමී සේවයක් ඉටුකරනවා වගේම මෙම ගීත ප්‍රචාරය සඳහා වැඩි ඉඩක් දෙනවා. උතුරින් එන දුම් රිය දේවී , ශාන්තිනී තෙමා වැටෙයි, කන්දසාමි නුබ නාඩන්,කුණ්ඩුමනී,මීන නුවන් යුගින් බලන් ආදී ගී බොහෝ ගණනක් ඒ අතර වෙනවා.

ප්‍රේමය මූලික කරගනිමින් මේ බොහෝ කවි ගීත රචනා වීම විශේෂයි. වාර්ගික අරගලයන් හේතු කොටගෙන දෙජාතීන් අතර හටගත් ප්‍රේම වෘත්තාන්තවල ඉතා ඛේදනීව  අවසානයන් කවියෝ ඉතා උපේක්ෂාවෙන් ලිව්වා.  

වතුකරයේ දමිළ තරුණියකගේ සිංහල ප්‍රේමයකට අත් වූ ඛේදාන්තයයි මේ...


අපිත් එක්ක තේ වත්තේ ලැයිමෙ හිටපු                                           තංගමනී

අපිත් එක්ක තේ වත්තේ වැඩට ගියපු                                              තංගමනී

අවුරුද්දට අපිත් එක්ක පංච දාපු                                                      තංගමනී

තෝසෙ වඩේ රහට හදා අපිටත් දුන්                                                තංගමනී


පුංචි කාලේ අපිත් එක්ක බට්ටො පැන්න                                       තංගමනී

තේ ගස් යට හෙවනෙ ඉදන් කතා කියපු                                        තංගමනී

ඉතිහාසේ පාඩමේ දී බයේ අඬපු                                                    තංගමනී

අන්තිමේ දී ගාමිණීට ලියුම් ලියපු                                                  තංගමනී


ගාමිණීගේ තාත්තලා කඩා දාපු                                                     ආදරේට

ලැයිමේ පඬි කඳ උඩ උබ අඬා වැටුණා මතකයි                                    මට

ගාමිණියා ගමෙන් ගියා උබ ලබන්න බැරි                                        තරහට

තංගමනී ඇහැ ඇරපන් ඌත් ඇවිත් උබෙ                                    මරණෙට


අප හැරදා ඉන්දියාවෙ යන්න බැරුව උබ                                      ඇඬුවා

උබ නොමැතිව ඉන්න බැරුව අපත් ඉකිගසා                                ඇඬුවා

උබෙයි අපෙයි කඳුලු එක්ව ගලා ගිහින් ලිඳ                                 පිරුණා

නිවං පුරේටම පලයං ලිඳට පැනලා උබ                                     මැරුණා


ලැයිමෙ ගමේ සැවොම එක්ව මළ ගේ වැඩ                              කෙරුවා

හාමුදුරුවො වඩම්වලා මතක වතත්                                           දුන්නා

තප්පු ගසා නාගසලං පිඹ බතකුත්                                             දුන්නා

අපෙ අක්කා වැලලූ තැනම නුබේ වළත්                                  කැපුවා.


                                                                                 ආරිවංශ අබේසේකර

                                                                            හිරුගේ දියණිය කෘතියෙන්


උතුරෙන් දකුණට ලියුමක්


දයාබ‍ර ජයන්ත,

යාපනය විනාශයි - හඬා වැලපෙයි උතුර

නුබෙ කනට නැද්ද මේවා ඇසෙන්නෙ ?

නුබෙ නගරෙට නැද්ද මේ දුක දැනෙන්නේ 


අපගේ දෙසවන් 

ශෙල් වෙඩින් බිහිරි වී ඇත

ඒ උනාට

සරස්වතීලාගෙ පවුල ගැන හරි දුකයි 

නුබෙ අම්මා අපි ගැන දුක් වෙන හඬ

ඇසේ මට - දැනේ මට වෙඩි හඬ ඉරාගෙන


ඔය පැත්තෙ සුදු මැණිකෙලා මෙහෙ

සුන්දරලිංගම්ලාගේ අත අරන්

මේ පැත්තෙ තංගලා ඔහෙ 

සෝමපාලලාගේ අත අරන්

හින උනා නම් ඇයි අද මේ

යුධ බිමේ අපි තනි වෙලා


මගෙ ජයන්ත, ඉතිං මගෙ නමට

යාපනේට ලියුම් එවන්න එපා

මං ඉන්නා මේ අනාථ කඳවුරේ 

සරස්වතීලා ඕනෑ තරම්!

මට නොලැබී ඒ ලියුම

තවත් සරස්වතී කෙනෙකුට ලැබී - විසි කරාවි !


                                                          ඊල ගනේෂ් 


                 සිංහල අපි දමිළ සහෝදරවරුන්ට එල්ල කරන එක චෝදනාවක් තියනවා. අපි ඔයාලා ගැන ලිව්වා. මීනලා ගැන සෙල්ලම්මලා ගැන ලෙච්චමීලා ගැන තංගම්මලා ගැන නටරාජලා ගැන අපි ලිව්වා. කෝ අපේ සුමනසිරි ගැන සිරියාවතීලා ගැන කමල් ලා ගැන නන්දාවතී ලා ගැන ඇයි ඔයාලා නොලිව්වෙ කියලා...... හැබැයි එයාලා ලියලා....  අපිට ඒවා කියවගන්න තේරිලා නෑ...


                                                                                                  

 

                                                                                        - අනුදි නිසල්යා වීරසිංහ -

Comments

  1. Ithama hoda karunu dakweemak saahithyamaya rasayak samagama. Methek mama kiyawapu hodama lipiya.

    ReplyDelete
  2. ලස්සනයි. ජයවේවා නංගි තව හොඳට ලියන්න ❤️

    ReplyDelete
  3. වටිනා ලිපියක් ❤️

    ReplyDelete
  4. පට්ට ...... ( හැබැයි එයාලා ලියලා.... අපිට ඒවා කියවගන්න තේරිලා නෑ... )

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්

කැමරාවේ ස්ත්‍රී සලකුණ