කැමරාවේ ස්ත්‍රී සලකුණ
කැමරාවේ ස්ත්‍රී සලකුණ 📸
ගෑනුන්ගේ මොලේ හැන්දිමිටේ තරම්වත් නෑ කියලා පිරිමි හැම වෙලේම කාන්තාව පහතට දාල කතා කරන්න පුරුදු වුණේ අද ඊයේ නෙමෙයි නෙ. දකුණු ආසියානු කලාපයේ ජීවත්වන අපි වගේ ආගම්වාදී රටක කාන්තාව ගෙයි මුල්ලේ තියාලා පිරිමි වැඩ්ඩෝ වුණ අවස්ථා අතීතයේ දී දකින්න හම්බුනත් අද වෙනකොට කාන්තාව කියන භූමිකාව ගෙයි එලිපත්තට ඇවිල්ලා සමාජීය වශයෙන් සෑහෙන තැනක් අත්පත් කරගෙන තිබීම ම ලොකු ජයග්‍රහනයක්.
කොහොම වුණත් ආසියාවේ වගේම යුරෝපීය සමාජය ද අතීතයේ ඉදලා ම කාන්තාව දෙස බැලුවේ ලිංගික වස්තුවක් විදිහට වගේම ගෙදර මෙහෙකාර තනතුරේ තියලා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන කාරණයක් කියලා මං හිතන්නෙ නැහැ.
කැමරාව ලෝකයට බිහි වෙන්නෙම රඳල, මෙන්ම පිරිමි අත රැඳෙන අමුතු ආකාරයේ භාණ්ඩයක් විදිහටමයි. පිරිමින් තමන්ගේ පුර්ෂාධිපත්‍ය තවතවත් යහමින් ලෝකයාට පෙන්වන්නටත් කැමරාව මුල් කාලයේ දී භාවිතයට ගත්තා. කොහොමින් කොහොම හරි කාලයාගේ ඇවෑයමෙන් ඡායාරූපශිල්පය පිරිමින්‍ට සින්නක්කරවම අයිති වෙනවා.
60 දශකය යුරෝපයේ නව විප්ලවයක ආරම්භය සනිටුහන් කරනවා. පොප් සංගීතය, හිපි සංස්කෘතිය, නිදහස් ලිංගිකත්වය වගේ දේවල් එළියට එන්නෙ ඔන්න ඔය විප්ලවයේ ආරම්භයත් එක්කමයි. මෙච්ච්ර කාලයක් ගෙයි මුල්ලට හිර වෙලා හිටපු කාන්තාවට විවිධ ක්ෂේත්‍රයන්වල දොර ඇරුනෙත් විප්ලවයේ ප්‍රථිපලයක් විදිහට තමයි.
පිරිමින්ට විතරක් අයිති වෙලා තිබුන කලාව ක්‍රමයෙන් කාන්තාවන්ට ද අයිති වෙන්න පටන් ගන්නවත් එක්කම ඡායාරූපකරණය ද ස්ත්‍රී ආධිපත්‍යට නතු වීම ආරම්භ වෙනවා. යුරෝපය පුරා පැතිර ගිය මේ නව රැල්ල ස්ත්‍රීන්ගේ නව සිහින සැබෑ වීමක් කිවුවොත් නිවැරදි.
පිරිමින්ගේ කැමරා කාචයට හසු වුණු සමාජීය පැතිකඩයන් වෙනස්ම ආකාරයකින් කාන්තා ඇසට හසු වීම මෙන්ම ඔවුන් බලාපොරොත්තු වන විප්ලවීය සමාජ වෙනස ඡායාරූපශිල්පය හරහා ගොඩනැංවීමට හැකි වීමද කාන්තාව දිනාගත් විශිෂ්ඨ ගණයේ ජයග්‍රහනවලින් එකක්.කලාත්මක හැඩහුරුකම් වලින් නොනැවතී යුධ ඡායාරූප වාර්තාකරණයට ද කාන්තාව යොමු වන්නේ ලඳ බොළඳත්වය සම්මත කරගෙන තිබූ ස්ත්‍රී ප්‍රතිරූපය ද අභියෝගයට ලක්කමිනි.
මාර්ග්‍රට් බ්‍රෝක් වයිට් යුධ ඡායාරූපකරණයේ ඉහළ නමක් දිනා සිටි තැනැත්තියක්. ලෝකප්‍රකට ලියිෆ් සඟරාවේ ඡායාරූප වාර්තාකාරිනියක් වූ ඇය දෙවන ලෝක යුද්ධයේ සහ ඉන්දියානු පකිස්තාන් යුද්ධයේදී නොබියව යුධ වාර්තාකරයේ යෙදිලා ඉන්නවා. අදටත් ඉන්දියානු පකිස්ථාන් යුද්ධයෙහි යුධ ඡායාරූප බොහෝමයක් මාග්‍රට්ගේ කැමරා කාචයෙන් ගත්ත ඡායාරූප වෙනවා.
මාග්‍රට් බ්‍රෝක් වයිට්
කොහොම වුණත් බාලිකා පාසලක ඡායාරූප සංගමේ හිටපු මම කැමරාව උස්සන් හතරවටේ යනකොට ඔය අටමගලෙ කෙල්ලොන්ට හරියන්නෙ නැහැ කියපු ගුරුවරුත් සහෝදරියොත් හිටියෙ නැත්තෙම නැහැ.
21 වෙනි සියවසේ මැද හරියෙ ඉන්න අපි පුද්ගල නිදහස ගැන පන්පෝරී දෙඩෙව්වත් කාන්තා නිදහස ගැන කතා කරද්දී ලත් තැනම ලොප් වෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි. ලොකේම කාන්තා නිදහස වගේම ස්ත්‍රී ලිංගික නිදහස ගැන නන් දොඩවන බොහෝ සැමියන්ගේ බිරින්දෑවරුන් ගෙදරට ම හිරකරලා කුස්සිඅම්මා කෙනෙක් කරලා තියන සමාජෙක කාන්තාවන්ට සම තැන නෙමෙයි නිසි තැන දෙන්න කියලා ඉල්ලන්නෙ ස්ත්‍රී පරිකල්පනය පුරුෂ පරිකල්පනයට වඩා ගව් ගානක් දුර වැඩ කරනවා කියලා දන්න හින්දමයි.
- අනුදි නිසල්යා -


අටමගලෙ ත් අරන් ලොව දිනන්න ධෛර්යය ශක්තිය ලැබේවා!
ReplyDeleteබොහොම ස්තූතියි!❤️
Deleteසංස්කෘතික රාමුවෙන් පිට හිතන මිනිස්සු ඉන්නෙ අතලොස්සයි. අමුතු ලස්සන වැඩ කරන්නෙත් ඒ අතලොස්සම තමා. ජය! ❤️
ReplyDeleteබොහොම ස්තූතියි!❤️
Delete