ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆




            The Four Seasons Symphony මාව වෙනස් කරපු සංගීත සංධ්වනියක් කිව්වොත් වැරදි නෑ. මම ඇත්තටම එහෙම symphony  උනන්දුවෙන් අහන කෙනෙකුත් නෙමේ. හැබැයි මේක අහපු මුල් කාලෙට වඩා මේ මෑතකදි ආයෙමත් ඒක ඇහුවහම මට වෙනම ම හැඟීමක් ආපු නිසයි මේක ලියන්න හිතුවෙ. 

                මුලින්ම මම කියන්නම්කො The Four Seasons  symphony එක  අහන්න  ලැබුනෙ කොහොමද කියලා. දැන් ටික කාලෙකට කලින් සන්තුස ලියනගේ කියන විශිෂ්ට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අතින් ටෙලි චිත්‍රපට ගණයේ කතා මාලා කිහිපයක් භාව තීර්ත කියන නමින් රූපවාහිනියෙ විකාශය වෙනවා. අන්න ඒ කතා මලා කීපය ඇතුළෙ විකාශය වුණ වයිලීනයේ හඬ  කියන ටෙලි චිත්‍රපටයෙ තමා මේ  Symphony එක ගැන කතා වෙන්නෙ. ඒ කතාවටත්  Symphony එකටත් මම වශී වුණා කිව්වොත් හරි. 


Antonio Vivaldi
                 The Four Seasons ඇන්තෝනියෝ විවැල්දි (Antonio Vivaldi) නම් ශ්‍රේෂ්ඨ ඉතාලියානු සංගීතඥාගේ නිර්මාණයක්.1718 - 1720 අතර කාලවලදි මේ Symphony එක විවැල්දි අතින් ලියවැන්නෙ.මේක තනිකරම වයිලීන සංධ්වනියක්. අපි කවුරුත් දන්න ඍතු හතර පාදක කරගෙන තමා මේ සංධ්වනිය පෙළගැහෙන්නෙ. වසන්ත, ගිම්හාන,සරත් සහ ශීත ඍතු, පරිසරයට වගේම මිනිස් මනසටත් බලපෑම් කරන විදිහ මේ එක එක සංධ්වනිය හරහා කියන්න විවැල්දි මාරම උත්සහයක් අරන් තියනවා. උදාහරණයක් විදිහට  වසන්ත ඍතුවට අදාළ සංධ්වනි කණ්ඩයේදී වසන්තයේ පාරිසරික වෙනස් වීම්, මල් පිපෙන කොට ඇති වෙන උද්දාමයන් වගේ දේවල් සංගීතය වගේ විශ්වීය භාෂාවකින් ගෙන ඒමම අමුතුම රහ වැඩක්. ඔය විදිහට එක එක ඍතු වලට අදාළ කණ්ඩයන් තුළින් ඒ ඒ හැඟීම් රටාවන් ගෙන එන්න විවැල්දි සමත් වෙන්වා.

            

   ඇත්තටම මේ කාරණාවටත් වඩා මට කියන්න ඕන වුණේ වෙන දෙයක්. පාරිසරික වෙනස් වීම් වලට වඩා මේ symphony එකෙන් ඊට එහා කාරණාවක් ගැන හිතන්න ඉඩ ඉතුරු කරනවා. මං මුලින් කිව්ව සන්තුසගේ ටෙලි චිත්‍රපටයෙ කතා කරලා තිබ්බෙත් ඊට සමගාමී දෙයක්. අපි ජීවිතයේ ගෙවන ඍතු තියනවා. සාමාන්‍යයෙන් අපි හැමෝම ගෙවමින් ඉන්න සමහර විට ගෙවලා ඉවර කරපු තාරුණ්‍ය, ඒ කාලය තමා වසන්තය කියන්නෙ. අපි ඒ කාලයේදි ජීවිතේ විදින විදිහ , අපි හිතන පරාස සහ අපි  තාරුණ්‍ය ඇතුළෙ ජීවත් වෙන සහ ජීවත් වුණු අලංකාරය ඇත්තටම විදින්න පුළුවන් මේ විවැල්දිගෙ වසන්තය කියන සංගීත ඛණ්ඩය ඇතුළෙ. ඒ  වගේ අපි පහුකරපු , නමුත් තාම පහු කරන්න බැරි වුණ ජීවිත ඍතුවල තියන හැඟීම ඕනවටත් වඩා අත්දකින්න මේ symphony එක හරහා පුලුවන් කියන එක නම් කියන්න ම ඕන. 




ඊටත් එහාට ගිහින් ප්‍රේමය කියන පොදු කරුණ මේ symphony එක අස්සට දාලා බැලුවොත්, වෙනම ම කියවීමක් ඇතුළෙ අපිට නතර වෙන්න පුළුවන්. ප්‍රේමයෙත් විවිධ අවධි තියනවා. මුලු ජීවිත කාලය තුළදිම ප්‍රේමය විවිධ අවදි ඔස්සේ දිවෙමින් , විවිධ හැඟීම් දෙමින්  අපිව ඉස්සරහට අරගෙනයනවා. ප්‍රේමය ඇතුළේ හමුවීමුත් වෙන්වීමුත් දරාගැනීමුත් ඕනෑ තරම් තියනවා. ඉතින් මේ ඍතුවලින් ද ප්‍රේමය කියවාගන්නට පුලුවන් වෙන්නෙ මේ විදිහට. වසන්තය කියන සංගීත ඛණ්ඩය තුළ අපිට ප්‍රේමය හමුවීම, ඒ ප්‍රේමය කියවා ගැනීම සහ අපි ප්‍රේමයේ අත්දැකීම් ලබාගන්නට ලෑස්ති වෙන විදිහ ගැනත්, ගිම්හානයේ දි, අපි ප්‍රේමය බාර ගැනීමත්, ප්‍රේමය දරාගන්න පටගැනීමට ලෑස්තිවෙන විදිහත් දිගහැරෙනවා. ඊට පස්සෙ එන සරත් ඍතුව ප්‍රේමයේ හටගන්න අනුරාගයත් ඒ ඔස්සේ ප්‍රේමයේ සියුම් තැන් කියවගන්න අපි ගන්නා උත්සහය ගැනත් දිගහැරෙන්වා. අන්තිමට එන්නෙ ශීත ඍතුව. මේක ඇත්තටම මම දකින්නේ අත්හැරීමක්. අනුරාගයෙන් වගේ ම දරාගැනීමෙනුත් පෝෂණය වුණ ප්‍ර්‍රේමයක  අත්හැරීමේ හෝරාව මේ ඍතු ඛණ්ඩයෙන් කියවෙනවා. ප්‍රේමයක හට ගැනීම, දරාගැනීම, අනුරාගය සහ විරහවත් ඒ වගේම සෑම ජීවිතයකටම පොදු වන තාරුණ්‍ය , මැදිවයස, සහ මහලු විය යන පොදු ධර්මතාවය ගැනත්  මේ තරම් දැනෙන ආකාරයෙන් කියැවෙන  සංගීත සංධ්වනියක් මට මීට කලින් අහන්න ලැබිලා නැහැ.


පහළින් තියන්නෙ ඒ The Four Seasons Symphony එකේ සබැඳිය. ඔයාට මීට අමතරව වෙනම ම රසයක් වෙනම ම කියැවීමක් ඒ ඔස්සේ දැනුනොත් පහළින්  කමෙන්ටුවක් අමුණගෙන යන්න.  


 Antonio Vivaldi's The Four Seasons    https://www.youtube.com/watchv=GRxofEmo3HA&t=2114s

  භාව තීර්ථ | වයීලීනයේ හඬ (ටෙලි චිත්‍රපටය)   -     https://www.youtube.com/watch?v=NN6zeIMJ4A0  


                                 

                                                                                  - අනුදි නිසල්යා වීරසිංහ -  


Comments

Post a Comment

Popular posts from this blog

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්

කැමරාවේ ස්ත්‍රී සලකුණ