වම් ඉවුරෙන් බැස ගිය පතී !
වම් ඉවුරෙන් බැස ගිය පතී !
ලංකාවේ සිනමාවක් තිබ්බ ද එහෙමත් නැත්තම් දැන් එහෙම එකක් නැද්ද කියන එක අපි අදටත් සෑහෙන්න හිතන , එහෙම හිතලා ඔලුව බරකරන් මනෝපාරකට හොඳ ප්‍රවේශයක් ගන්න හිතෙන ප්‍රශ්නයක් .ඉතිං අපි ඒ ප්‍රශ්නෙ පොඩ්ඩකට පැත්තකින් තියමුකො.මොකද ඒක මනෝපාරකින්වත් ලෙහාගන්න පුලුවන් තරමේ ප්‍රශ්නයක් කියලා මම හිතන්නෙ නැහැ.
ප්‍රශ්නෙ වෙනස් කරලා මෙහෙම ඇහුවොත් මම නම් හිතන්නෙ මේකට අනිවාර්‍ය පිලිතුරක් ඔය මනෝපාර ඇතුළෙ තියෙන්න පුලුවන්.
ලංකාවෙ විකල්ප සිනමාවක් තිබිලා නැද්ද?
සිනමාව ලෝකෙට බිහිවෙලා තියෙන්නෙ ම තමන් දරන මතයන් විකල්පවාදීව ජනගත කිරීමේ හොඳ උත්සහයක් විදිහට. හැබැයි දැන් ඕකම කනපිට පෙරලිලා වෙන වෙන අයගේ වන්දිබට්ට සේවයෙන් උපන් මතයන් සිනමාවෙන් එළියට දාන්න හදන එකම එක්තරා විදිහකට බරපතළ ඛේදයක්.
හරි දැන් මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙමුකෝ.ලංකාවේ හොඳ විකල්පවාදී සිනමාවක් තිබ්බා.දැන් තියන්ව ද කියන එක නම් හිතන්න ඕන ප්‍රශ්නයක්. කොහොම වුණත්, වමේ සිනමාකරු විදිහට හඳුන්වන ධර්මසේන පතිරාජයන් නොසිටින්න විකල්ප සිනමාවක් ලංකාවේ ඇතුලෙ ලොවෙත් හොයන්න හම්බෙන්නෙ නෑ.
1970 වසරේ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් තම සිනමා ගමන ආරම්භ කරන පතිරාජයන්, අහස් ගව්වේ සිට ස්වරූප දක්වා සිද්දකරපු වෘතාන්ත සිනමා හරබය සුලුවට තකන්න බැහැ.
ලාංකේය තාරුණ්‍යයේ විකල්ප අදහස් , මතවාදයන්වලට වෙඩි උණ්ඩයකින් පිළිතුරු දුන් යුගයක ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න කලාත්මක රාමුවකින් සිනමාත්මකව ජනගත කරන්න ඔහු තැබූ පියවරම අපේ වචනයෙන් කිව්වොත් පට්ටයි.
එක එක සිස්ටම් ඇතුළෙ නොයෙකුත් පරාසවලට ප්‍රේක්ෂකයාව ස්ථානගත කරන්නට පතීට මාරම හකියාවක් තිබ්බා කියලා අමුතුවෙන්ම කියන්න ඕන නැත්තේ ඒකේ උච්චතම අවස්ථාව පොන්මනී එක්ක නවමානයකින් කරලියට එන හින්දමයි.
සිංහල සිනමා අධ්‍යක්ෂකවරයෙකු දෙමළ සිනමා නිර්මාණයක් කරන්නට අතගැසූ පළමු අවස්ථාව පොන්මනී සනිටුහන් කරනවා. දමිළ කුළභේදයට කෙලින්ම අතුල් පහරක් එල්ල කරන පතී ආගම සහ ජාතිය දඩමීමා කරගනිමින් බයිලා දෙසන කාගෙ කාගෙත් පැටිකිරිය එළියට උලුප්පා පෙන්වන්න පොන්මනිත් එක්ක අරගත්ත ප්‍රවේශයම මරු.
යාපනයේ චිත්‍රපට ශාලාවලින් පොන්මනී ගැලවෙනවාත් එක්කම බොහෝ දෙනාගේ නිර්දය විවේචනයට ද පොන්මනී ලක්වීම ලංකාවේ විකල්පවාදී සිනමාත්මක කියැවීම ගැන සිතන්නට යමක් ඉතුරුකරලා දෙනවා.
ඉන් අනතුරුව ඔහු තිරය මතට ගෙන ආ සොල්දාදු උන්නැහේ,පාර දිගෙ සිනමා නිර්මාණයන්ට බලාපොරොත්තු වූ විචාරක අවධානයක් මෙන්ම ප්‍රේක්ෂක අවධානයක් හිමි වුණේ නැති බව පතී ම කියන්නේ සොල්දාදු උන්නැහේ නරඹන්න ආපු බොහෝ ප්‍රේක්ෂකයින් හූ කියන්මින් සිනමාශාලාවලින් එළියට ආපු විදිහ ඔහුම ඇස් දෙකෙන් දැක්ක නිසයි.කොහොම වුණත් එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් යන චිත්‍රපට ද්විත්වය බොහො දෙනා වැළඳගත් නිර්මාණ දෙකක් වීම ම විශේෂයක්.
![]() |
විරැකියාව , ධනේෂ්වරයේ නැගීම , තරුණ අසහනය ආදී විව්ධ තලයන් ඔස්සේ තුනවන සිනමාවක් ලංකාව ඇතුලේ ස්ථාපිත කරන්න පතී හැමවිටම උත්සහයක් ගෙන ඇති බව නම් කියන්නම ඕන දෙයක්.ඔහු එක වෙලාවක කියනවා ඔහුගේ චිත්‍රපටවලට පුළුල්ව ජාත්‍යන්තර අවධානයක් නොලැබුනේ ඒවායේ ඉංග්‍රීසි උපරැසි යොදන්න ඔහු අත මුදල් නොමැති වීම එක්ක කියලා.
නමුත් මෙවර කාන් සිනමා උළලෙහි කලාත්මක චිත්‍රපට මාලාව අතරට පතිරාජයන්ගේ බඹරු ඇවිත් චිත්‍රපටය ද ප්‍රදර්ශනයට ඇතුළත් කරලා තිබීම ම පතී අද නැති වුනත් ඔහුගේ එකම සිනමා සිහිනය සිහිනය සැබෑ වීමක් නොවේද?
පතිරාජගේ සිනමාව පිළිබඳ නෙට්පැක් හෙවත් ආසියානු සිනමාව ප්‍රවර්ධනය සඳහා වූ සංවිධාන ජාලය 2009 දී ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථයෙහි ඔහුව නම්කොට ඇත්තේ "An incomplete Sentence" ලෙසයි. සරලවම කිව්වොත් නිම නොකළ වැකිය" කියලයි.
ඇත්තටම ඔහු නිම නොකළ වැකියක්.....
- අනුදි නිසල්යා වීරසිංහ -





This comment has been removed by a blog administrator.
ReplyDeleteExcellent & proud
ReplyDelete❤️
ReplyDelete♥️
ReplyDelete