ඡන්දෙ දාන්නම ඕන ද?

ඡන්දෙ දාන්නම ඕන ද?

 

         'ඡන්දය' අපි හැමදාම වගේ ලොකුවට කතා කරන, මට නම් හෙන තිත්ත මාතෘකාවක්. කොහොම වුණත් තිත්ත ටිකක් දැනෙන්න ගන්නෙ පස්සෙ හින්දමද කොහෙද අපිම මල් මාල දාලා පාර්ලිමේන්තුවට යවන අය දිහා අපිටම බලාගෙන හූලන්නත් කාලයක් එනවනේ. 
       
          මේ වෙනකොට අපි කොරෝනා උණුසුමින් හෙට මැරෙයි ද කියලා රත් වෙවී හිටියත්, මැකෝ ප්‍රමුඛ අපේක්ෂක නඩේ නම් කොහෙවත් නැති ඡන්ද උණුසුමක් මැද්දෙ වැළලෙන්න හදන එක නම් හිරිකිතයක්. කොරෝන හින්දම කැන්වසින්වලින් බේරිලා පාඩුවෙ ඉන්න පුලුවන් වුණත් TV චැනල්ස් ඉස්සරහ හෙන ප්‍රජාතාන්ත්‍රිකයො ටිකක් රඟනවා බලන් ඉන්න අපිට, වෙනම ගාණක් ගෙවන්න ඕන කියන එකනම් අනිවා කියන්න ඕන දෙයක්. 
              
             මට බැලට් පේපරේකට කතිරෙ ගහන්න හම්බුනේ නම් මේ ළඟදි තමයි. හැබැයි ඉතින් තේරෙන කාලෙදි ඉදලා මෙකේ ඇතුළෙ වුණ ඡන්ද කෙරුවාව ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඡන්දෙ ළං වුණහම අපේක්ෂක මහත්තුරුන්ගේ පොරොන්දු පත්‍රිකාවල නැත්තේ හඳ ගෙනත් දෙනවා කියන එක විතරයි. 

              හැමදාමත් වගේ එක එක පක්ෂත් එක්ක වහල්කමේ යන අපි වගේ දූපත්වාසීන්ට නම් ඡන්දය කියන්නෙ තම ගොන්කමේ ප්‍රතිමූර්තිය මැනවින් පෙන්නන කාලෙන් කාලෙට හම්බවෙන හොඳ චාන්ස් එකක්. ඒකට ඡන්ද අයිතිය කියලා අටමගලෙකුත් පැත්තකින් එබුවහම ජීවත් වෙන්න තියන අයිතියත් බල්ලට දාලා කතිරෙ ගහන උනුත් වැහි වැහැලා. 

           ඔය හැම දේකටම වඩා වටිනම දේ තමයි මේ දවස්වල සමහර බේබි හාමුලා කෝච්චිවලින් වැඩට යනවා, සමහර දියසේන කුමාරවරු නැවත ඉපදිලා, දුටුගැමුණු වගේම රාජාවලියෙම ඉන්න රජවරු ඔක්කොමලා වගේ  කටවුට් වල එල්ලිලා ඉන්නවා දැක්කහම මට නම් වාවන්නෙ නෑ 😂

             හැමදාම ඔබේ වටිනා ඡන්දය ඔලුවක් ඇතුව පාවිච්චි කරන්න කිය කිය බෙරිහන්දුන්නත් අපේ ඈයෝ ටික ඒක කනකටවත් ගන්නෙ නැති එක ඇත්ත. ඒකෙනේ නලු නිලි කැළක්ම  පහුගිය ටිකේ දියවන්නාවට සවාරියක් යැව්වෙ. යවලා කාලයක් හඬ පටි ආතල් එකකුත් ගත්තා මතක ඇති මං හිතන්නෙ. ‍රඟන්න පුලුවන්නම් ඌ හොඳ දේශපාලනේට වෙන්න පුලුවන්, නමුත් රැඟිල්ල විතරක් ම ඒකට සෙට් නෑ කියන එකත් ඔලුවෙ තියන් කතිරෙ හැහුවොත් තමා හොඳ.

              රට හදන්න, පාරවල් හදන්න, ගෙවල් හදලා දෙන්න , කුලුණු හදන්න ඕන තරම් අය ඇති . දැනටමත් ඉන්නවනේ. ඒත් ඔලුව හදන්න පුලුවන් එකෙකුට මේ සරේ කතිරෙ ගහන්න . එහෙම අවුල් නම් ඡන්දෙ දවසේ උදේ නිකන් රස්තියාදු නොවී ටිකක් වැඩිපුර නිදියගතත් කමක් නැහැ.

                                                                                                        කාටූනය - ගිහාන් ද චිකේරා
                       

- අනුදි නිසල්යා වීරසිංහ -

Comments

Popular posts from this blog

ප්‍රේමයක ඍතු සංධ්වනිය 🌹 🍂🍁⛆

හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්

කැමරාවේ ස්ත්‍රී සලකුණ